[Sinhala/සිංහල] ශක්තිය සහ ජලය පිරිමැසීමට කුලී නිවැසියන් වෙනුවෙන් වූ මාර්ගෝපදේශය

A renter's guide to saving energy and water
Publisher: 
Department of the Environment and Energy
Date: 
September 2018

ශක්තිය සහ ජලය පිරිමැසීමේ ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ ලැබීමට නිවසක හිමිකරුවකු වීම අවශ්‍ය නොවේ. ඕස්ට්‍රේලියානුවෙන්ගෙන් තුනෙන් එකක්ම සිටින්නේ කුලියට ගත් නිවෙස්වලය. කුලියට ගත් නිවසක දේවල් වෙනස් කිරීම සීමා සහිත වුවද සූර්ය කෝෂ සහ වැසිජලය රැස් කරන ටැංකි සහ යන විකල්ප නොමැති වුවද ඔබේ බිල හ පරිසරයට ඇති වන බලපෑම අවම කර ගත හැක. ශක්තිය සහ ජලය ඉතිරි කර ගැනීමට වඩාත්ම ඵලදායී ක්‍රම වන්නේ ඔබට මූල්‍ය වියදමක් නැතිවම ඔබේ දෛනික පුරුදුවලට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙනි.

ඔබ දිගු කලකට හෝ ටික කලකට කුලියට ගෙන සිටියද ශක්තිය සහ ජලය ඉතිරි කර ගනිමින් පහසුව හෝ ජීවන රටාව කැප නොකර ඩොලර් සිය ගණනක් ඉතිරි කර ගැනීමට, ඔබට කළ හැකි වියදම් රහිත දේ ගණනාවකි.

බලශක්තිය ඉතිරි කර ගැනීමට අදහස්

බලශක්ති කාර්යක්ෂමතාව යනු (සමහර විට කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිතය ලෙස හැඳින්වේ), එකම මට්ටමට, පහසුකමට සහ ලේසියට යම් කාර්යයක් ඉටු කර ගැනීමට අඩු බලශක්තියක් භාවිතා කිරීමයි. නිවසේ බලශක්ති භාවිතය සහ බිල් අඩු කර ගැනීමට මෙම ප්රායෝගික පියවර අත්හදා බලන්න.

  • බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුත් උපකරණ භාවිතා කරන්න. බලශක්ති භාවිතයෙන් සියයට 30ක් ඇති වන්නේ ගෘහස්ථ උපකරණ භාවිතය නිසාය. ඔබ තෝරා ගන්නා උපකරණය සහ එය භාවිතා කරන ආකාරය අනුව ඔබේ බලශක්ති පරිභෝජනයත් බිලත් වෙනස් වනු ඇත. ඔබ නව උපකරණයක් මිලට ගැනීමට යයි නම් බලශක්ති කාර්යක්ෂමතාව ඇති මොඩලයක් ගැන සිතා බලන්න. එහි බලශක්ති කාර්යක්මතාව දැන ගැනීමට Energy Rating Label බලන්න-එහි තරු ලකුණු වැඩිවූ තරමට බලශක්තිය වැඩිපුර ඉතිරි කර ගත හැක.
  • ඔබේ පරිසරය වෙන් කිරීම. ඔබේ නිවසේ බලශක්තියෙන් සියයට 40ක් පමණ වැය වන්නේ රත් කිරීම සහ සිසිල් කිරී මටයි. ශීත කාලයේදී ඔබේ උණුසුම් කිරීමේ තාපකය සෙල්සියස් 18–20 දක්වා සකසන්න. ගිම්හාන කාලයේදී ඔබේ සිසිල් කිරීමේ තාපකය සෙල්සියස් අංශක 25–27 ලෙස සකසන්න. තාපකය එක් අංශකයකින් අඩු (හෝ වැඩි) කිරීමෙන් ඔබේ නිවස රත් කිරීමට හෝ සිසිල් කිරීමට වැය වන තාපය සියයට 5 සිට 10කින් අඩු වනු ඇත. ඔබ වායු සමීකරණ යන්ත්‍රය හෝ තාපකය ක්‍රියාත්මක කළ විට ඔබ භාවිතා නොකරන කාමරවල අභ්‍යන්තර දොරවල් වසා තබන්න.
  • හිදැස් සහ පැළුම් හොඳින් වැසීම ඔබේ නිවස වාතයට එරෙහිව රෝධනය කිරීමෙන්ද රත්වූ සහ සිසිල් වූ වාතය හිදැස් සහ පැළුම්වලින් කාන්දු වීම වැලැක්වීමෙන්ද ඔබේ බලශක්ති බිල සියයට 25කින් අඩු කර ගත හැක. දොරවල් යටින් වාතය පිට වීම වැළැක්වීමට වැලි පිරවූ රෙදි වාත රෝධකයක් (දිග ‘සර්පයකු‘ හැඩැති) භාවිතා කරන්න. ජනෙල්, බිම් පුවරු, ස්කර්ටිං බෝඩ්, ස්කයිලයිට් සහ කෝනිසස් සඳහා කාලගුණ මුද්‍රා භාවිතා කරන්න. කවර හෝ කාලගුණ මුද්‍රා උපකරණයක් සවි කිරීමට පෙර ඔබේ නිවෙස් හිමිකරුවා සමඟ සාකච්ඡා කරන්න.
  • ජනෙල් කාර්යක්ෂමතාව වැඩි කිරීම. දොර රෙදි සුව පහසු ලෙස සවි කිරීම මගින්ද තිර රෙදිවල ජනේලය අසල නිසල වාතය තීරුවක් හිරවෙන පරිදි සැකසීම මගින්ද තාපය හානි වීම වළක්වා ගන්න. ශීත කාලයේදී දවල් කළ හිරු එළිය වැටීමට ජනෙල් රෙදි ඇර තබා, අඳුර වැටීමට පෙර ඒවා වසා දැමිය හැක. ගිම්හාන කාලයේදී දවසේ උණුසුම්ම කාලය තුළ ජනෙල් රෙදි වසා තැබීම යෝග්‍ය වේ.
  • වායු සමීකරණයට වඩා විදුලි පංකාව තෝරා ගැනීම. සීලිං හා බිම තබන විදුලි පංකා පැයකට ක්‍රියාත්මක වීමට යන්නේ සතයක් පමණක් වන අතර වායු සමීකරණ යන්ත්‍රවලට වඩා බොහෝ අඩුවෙන් හරිතාගාර වායු නිකුත් කරයි. විදුලි පංකා වාතය සංසරණය කිරීමට උපකාරී වන අතර වාත සිසිලන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මෙන්ම උණුසුම් වාතය සංසරණය කර ශීත කාලයේදී ඔබේ තාපන කාර්යක්ෂමතාව වැඩි කිරීමටද උපකාරී වේ.
  • බලශක්ති කාර්යක්ෂමතාව ඇති ආලෝකකරණයට මාරු වීම. නිවසේ ශක්තියෙන් සියයට 12ක් ආලෝකකරණය සඳහා භාවිතා කෙරේ. බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුත් ආලෝකකරණයට මාරු වීමෙන් සහ විදුලි බුබුළු කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමෙන් ඔබේ ආලෝකකරණ වියදම බාගයකට අඩු කර ගත හැක. පැරණි තාලයේ දිලිසෙන ආකාරයේ බල්බ වෙනුවට සංගෘහිත ෆ්ලොරසන්ස් ලාම්පු (CFLs) හෝ ආලෝකය මුක්ත කරන ඩයෝඩ (LEDs) බලශක්ති වියදම් අඩු කර ගැනීමට කාර්යක්ෂම ක්‍රමයකි. CFL බල්බ දීප්ත ආලෝක බල්බයක බලශක්තියෙන් සියයට 20ක් පමණ භාවිතා කරන අතර ඊට වඩා 4 සිට 10 ගුණයක ආයු කාලයක් ඇත.
  • ස්ටෑන්බයි ආකාරය. දුරකථන චාජර, ක්‍රීඩා උපකරණ, මයික්‍රොවේව් උදුන් හ ස්ටීරියෝ වැනි උපකරණ, ඒවා භාවිතා නොකරන විටද බලය ඇද ගනියි. මෙම ස්ටෑන්ඩ්බයි බලය නිවසක විදුලි බල භාවිතයෙන් සියයට 10කි. වැඩ අවසන් වූ විට උපකරණයේ සහ උපාංගවල බලය බිත්තියෙන්ම ඕෆ් කිරීමෙන් ඔබේ බලශක්ති භාවිතය අඩු වන අතරම බිලද අඩු වේ. එයට කුඩා ස්ටෑන්ඩ්බයි ලයිට් එකක් හෝ ඔරලෝසුවක් තිබුනොත් එය බලය භාවිතා කරයි.
  • ශීතකරණ සහ අධිශීතකරණය. ඔබේ ශීතකරණයට හොඳම උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 5ත් අතර වේ; ඔබේ අධිශීතකරණයේ උෂ්ණත්වය සෘණ සෙල්සියස් 15 සිට 18 දක්වා වේ. උෂ්ණත්වය එක් අංශකයකින් අඩුවත්ම ශක්තිය වැඩිපුර සියයට 5ක් අවශ්‍යය. අධිශීතකරණයේ බැඳෙන අයිස් ඉවත් කිරීමෙන්ද වාතන ස්ථානයේ සිට ශීතකරණයට දුර සෙන්ටිමීටර 5–8 දක්වා දුරක් ලෙස තබා ගැනීමෙන්ද ඔබේ ශීතකරණයේ සහ අධිශීතකරණයේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්න. ඔබේ විනෝදාස්වාදය සඳහා ඔබට තවත් ශීතකරණයක් ඇත්නම් අවශ්‍ය විට පමණක් එය ක්‍රියාත්මක කරන්න.
  • රෙදි සේදීම සහ වියලීම. යන්ත්‍රයෙන් රෙදි සෝදන විට ඇල් ජලය භාවිතා කිරීම මගින් ශක්තිය ඉතිරි කර ගන්න. රෙදි ප්‍රමාණයේ බර අනුව ජල මට්ටම වෙන් කර කෙටිම චක්‍රයක් භාවිතා කිරීමෙන්ද, සම්පූර්ණ තොගයක් සඳහා රෙදි එකතු වෙන තෙක් බලා සිටීමෙන්ද ශක්තිය තවදුරටත් ඉතිරි කර ගත හැක. විදුලි රෙදි වියලනයක් වෙනුවට රෙදි වැලක රෙදි වේලන්න - එයට මුදලක් වැය නොවේ.

ජලය ඉතිරි කර ගැනීමේ ක්‍රම

ජල කාර්යක්ෂමතාව පවත්වාගැනීමෙන් සෑම ජල බිංදුවක් හ ඩොලරයක්ම ඉතිරි වේ. නිවසේදී සහ වත්තේදී ඥානාන්විත ලෙස ජලය භාවිතා කර අපේ අනාගතය සඳහා ජලය සුරක්ෂිත කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් ගණනාවකි.

  • ජල කාර්යක්ෂමතාව ඇති උපකරණ සහ සවිකෘත භාවිතා කිරීම. නව උපකරණයක් හෝ සවිකෘතියක් මිලට ගැනීමේදී ජල කාර්යක්ෂමතාව ඇති මාදිලියක් ගැන සැලකිලිමත් වන්න. Water Efficiency Labelling and Standards (WELS) ශ්‍රේණිගතකිරීම බලන්න.
  • කාර්යක්ෂම ලෙස ජලනල භාවිතය. විනාඩියට එක් බිංදුවක් කාන්දු වන ජල නලයකින් වර්ෂයකට ජලය ලීටර 12,000 ක් අපතේ යයි. ජලය කාන්දු වන නල හැකි ඉක්මණින් අළුත් වැඩියා කිරීම මගින් ජලය පිරි මසා ගන්න. එයරේටර් ස්ථාපනය කිරීම මගින් ජලය භාවිතය අඩු කළ හැක. එයරේටර් මගින් ජල ගලනය සීමා කරන අතර එය ජල නල ඇතුලට හෝ පිටතට සවි කළ හැක. තවදුරටත් ඉදිරියට යාමට පෙර ඔබේ නිවෙස් හිමියා සමඟ පරීක්ෂා කරන්න.
  • ජල කාර්යක්ෂමතාව සහිත ෂවර් හෙඩ් ස්ථාපනය කිරීම. ඔබට ඇත්තේ පැරණි, කාර්යක්ෂමතාව අඩු ෂවර් හෙඩ් නම්, ඒවායින් ජලය තුනෙන් එකක් පමණක් භාවිතා වන ජල කාර්යක්ෂමතාව සහිත ෂවර් හෙඩ් ස්ථාපනය කරන ලෙස ඔබේ ඉඩම් හිමියාගෙන් විමසා බලන්න. එමගින් වසරකට බලශක්තියසහ ජල බිල $160 ක් පමණ ඉතිරි වේ.
  • වැසිකිලි ෆ්ලෂ් කිරීම. ද්විත්ව ෆ්ලෂ් වැසිකිලියක් භාවිතා කිරීමේදී සුදුසු පරිදි අර්ධ ෆ්ලෂ් කිරීම භාවිතා කරන්න. ඔබේ නිවෙස් හිමියා තනි ෆ්ලෂ් කිරීමේ වැසිකිලියක් ප්‍රතිස්ථාපනය කරයි නම් ජල කාර්යක්ෂම ද්වි ෆ්ලෂ් මාදිලියක් යොදන ලෙස යෝජනා කරන්න. එමගින් දිනකට එක් පුද්ගලයකු සඳහා ලීටර 55 ක් ඉතිරි වේ. මෙය විකල්පයක් නොවේ නම් ඔබට ජලය විදීමේ උපකරණයක් හෝ ජල ධාරිතාව අඩු කිරීම සඳහා සිස්ටනයේ ජලය පිරවූ ප්ලාස්ටික් බෝතලයක් භාවිතා කළ හැක.
  • වත්තේ ජල භාවිතය අඩු කිරීම. සාම්ප්‍රදායික කොළ පැහැති තණ තීරුවක් සඳහා ඔබේ උද්‍යාන ජලයෙන් සියයට 90ක් පමණ භාවිතා වේ. ඔබේ මූවරය සෙන්ටිමීටර 4ක් හෝ ඊට වැඩියෙන් සැකසීමෙන් මෙය අඩු කර ගත හැක. ජල පුරුදු වෙනස් කිරීමෙන්ද ජල කාර්යක්ෂමතාව ඇති නිෂ්පාදන භාවිතා කිරීමෙන්ද ඔබේ උද්‍යාන ජල පරිභෝජනය අඩු කළ හැක.

කුලියට සිටින්නන් වෙනුවෙන් වූ සම්පත්

ඔබේ නිවාස හිමිකරුට හෝ වතු නියෝජිතයාට කතා කිරීම

අළුත්වැඩියා කිරීම්, සර්විස් කිරීම හෝ නඩත්තු කිරීම වැනි කල් පවත්නා වැඩි දියුණු කිරීම්,සඳහා සාමාන්‍යයෙන් ඔබේ නිවාස හිමිකරුගේ අවසරය (සහ මුදල්) අවශ්‍ය වේ. සෑම ප්‍රාන්තයකටම සහ ප්‍රදේශයකටම කුලී නිවැසියන් සඳහා වෙනස් නීති ඇත. එබැවින් දේපළ වෙනස් කිරීමට පෙර පර්යේෂණය කර අවසර ඉල්ලා සිටීම වැදගත්ය.
කල් පවත්නා වැඩි දියුණු කිරීම් සිදු කරන ලෙස ඔබේ නිවෙස් හිමියාගෙන් හෝ දේපළ නියෝජිතයාගෙන් ඉල්ලා සිටීමට පෙර මතක තබා ගත යුතු කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

  • ප්‍රතිපූරණයන් සහ ආධාර. කල් පවත්නා වැඩි දියුණු කිරීම් කිරීම සඳහා දේපළ හිමියන්ට ලබා දෙන රජයේ ප්‍රතිපූරණයන් සහ ආධාර පරාසයක් ඇත. ඔබේ ඉල්ලීමට සහාය ලබා ගැනීමට නම් ඔබේ නිවෙස් හිමිකරු වෙනුවෙන් ඔබ ටිකක් පර්යේෂණය කර ඔබේ තත්ත්වයේදී අදාළ වන දේ දැන ගැනීමට අපේ ප්‍රතිපූරණයන් සහ ආධාර පරීක්ෂා කළ යුතුය.
  • බදු අඩු කිරීම. බොහෝ වැඩි දියුණු කිරීම් මෙන්ම අළුත්වැඩියාවන් සහ නඩත්තු කිරීම්ද බදුවලින් සහන ලබයි. ඔබට Australian Tax Office’හි කුලී දේපළ අයිතිකරුවන් සඳහා වූ මාර්ගෝපදේශය ඔබේ නිවසට අදාළ වන්නේ කවර අයිතමද යන්න දැන ගැනීමට කියවා බලා සුභ ආරංචි තිබේ නම් ඔබේ නිවෙස් හිමිකරුට දැනුම් දිය හැක.
  • ආයෝජනයේ ප්‍රතිලාභ. වැඩි දියුණු කිරීම මගින් ඔබේ නිවෙස් හිමිකර දේපළෙහි වටිනාකම වැඩි කර ගන්නා අතර අනාගත මිලට ගන්නන්ට සහ කුලී නිවැසියන්ට එය වඩාත් ආකර්ශනීය වනු ඇත.

ඔබේ ඉල්ලීම් නිවෙස් හිමිකරුට හෝ දේපළ නියෝජිතයාට ලිඛිතව සිදු කරන බවට වග බලා ගන්න

තවත් දැන ගැනීම හෝ ඉතිරි කිරීම අවශ්‍යද?

පහත වෙබ් අඩවියේ බලශක්තිය, අපතේ යාම, ජලය සහ ගමන් කාර්යක්ෂමතාව පිළිබඳ උපක්‍රම මෙන්ම රජයේ ආධාර පිළිබඳ තොරතුරුද විශාල පරාසයක් තිබේ www.energy.gov.au වෙබ් අඩවිය.

වගකීමෙන් බැහැර වීම

පරිවර්තනය සිදු කරන ලද මුල් ලේඛනයේ සත්‍යභාවය පිළිබඳ රජය වග නොකියන අතර මුල් ලේඛනයේ හෝ මෙම පරිවර්තනයේ ඇති තොරතුරු හෝ වෙනත් යමක නිරවද්‍යතාව ගැන රජය අදහස් නොදක්වයි. රජය නිරවද්‍යතාවද ඇතුළුව, මෙම පරිවර්තනය ගැන සහතික නොවෙයි. තොරතුරු මෙම ආයතනය මගින් දුන්නද නොදුන්නද රජය සහ එහි සේවකයන් හෝ නියෝජිතයන් යම් පුද්ගලයකු මෙම පරිවර්තනය විශ්වාස කිරීම නිසා සෘජුව හෝ වක්‍රව ඇති වන යම් හානියකට, පාඩුවකට හෝ අලාභයකට වග නොකිව යුතුය.

This translation was funded as part of the Australian Government Multicultural Access and Equity policy.